කිං ඛාන් හෙවත් ශාරුක් ඛාන්.

සර 25කට කලින් බොලිවුඩ්පුරයට පා තැබූ කාලයේ ඔහුගේ මුහුණෙහි සටහන්ව තිබුණු අව්‍යාජ සිනහරැල්ල තවමත් වියැකී ගොස් නැහැ. නිහතමානිත්වය ප්‍රකට කරවන ඔහුගේ ඒ මඳහස ඔහු සුපිරි තත්ත්වයක් දක්වා රැගෙන යන්නට ඇති.ඔහු තමයි, කිං ඛාන් හෙවත් ශාරුක් ඛාන්. 


අද ඔහු ලොව සිටින ධනවත්ම නළුවන් අතරින් එක් අයෙක්. 1992 දී තිරගත වූ ‘දීවානා’ චිත්‍රපටයෙන් බොලිවුඩ් සිනමා රංගනයට පිවිසුණු ශාරුක්ගේ සිනමා ජීවිතයට මේ වන විට වසර 25ක් ගතවෙලා. නමුත්, තවමත් ඔහු බොලිවුඩ් සිනමාවේ පෙම්වතායි. දැන් ශාරුක්ගේ වයස අවුරුදු 51ක්. ඒ වුණත් ඔහු වෙතින් දිස්වන්නේ මැදිවියේ පෙනුමක් නම් නොවෙයි.

තමන් රඟපෑ චිත්‍රපටවල සාර්ථකත්වය සහ අසාර්ථකත්වය මැදින් ඉදිරියටම ගමන් කළ ශාරුක්ගේ රැඟුම් ඇතුළත් වන අලුත්ම චිත්‍රපටය, ඉමිටියාස් අලි විසින් නිර්මාණය කරන ලද ‘ජබ් හැරි මෙට් සෙජාල්’. ශාරුක් මෙහි රඟන්නේ යොවුන් නිළි අනුශ්කා ශර්මා සමඟයි. මේ චිත්‍රපටයේ ප්‍රචාරක පටය දැන් නිකුත් වෙලා. චිත්‍රපටය තිරගත කිරීම ඇරැඹෙන්නේ අගෝස්තු මාසයේදී.

ශාරුක්ගේ සිනමා දිවිය ආලෝකවත් කළ ජනප්‍රිය සිනමාකරුවා, කරන් ජොහාර්. ශාරුක් සිය රිදී ජුබිලිය සමරන මොහොතේ ඔහුට සුබ පතන්නට කරන් ජොහාර් අමතක කළේ නැහැ. “වසර 25 සපුරන ශාරුක්ගේ සිනමා ජිවිතයෙන් වසර 22ක්ම ඔහු සමඟ වැඩ කරන්නට ලැබීම භාග්‍යයක්.” කරන් ජොහාර් තම ට්විටර් පිටුවෙහි එලෙස සටහන් කළා.

ශාරුක්ගේ සිනමා ජීවිතයට වසර 25ක් සපිරුණේ ජූනි 25 දා. 1992 ජූනි 25 දා තමයි, ඔහුගේ කුලුදුල් රංගනය රැගත් ‘දීවානා’ චිත්‍රපටය මුලින් ම තිරගත වුණේ. මේ චිත්‍රපටයේ ශාරුක්ගේ පෙම්වතිය ලෙස රඟපෑවේ දිව්‍යා භාරතීයි. ඇය යොවුන් වියේදීම ජීවිතයෙන් සමුගත්තා.

පසුගිය ජූනි 25 දා ශාරුක්ගේ සුවිසල් නිවස අසලට එක්රොක් වූ විශාල රසික පිරිසක් ඔහුව දැකගන්නටත් ඔහුට සුබ පතන්නටත් යුහුසුලු වුණා. නිවසේ සඳළුතලයට පැමිණි ශාරුක්, තම බාල පුතු අබ්රාම් සමඟ එක්වී රසික පිරිසට ආචාර කළා.

Comments