දෙවැනි ඉනිමේ "චූටි මැණිකේ"




ශලිනි ප්‍රනාන්දු කියන්නේ කලා ලෝකයට පායා එන අලුත් තරුවක්. ඇගේ අලුත්ම තොරතුරු පුවත්පතකට කියලා තිබුණේ මේ විදියට...

2017 දෙරණ අවුරුදු කුමරිය හරහා කරළියට ආපු ශලිනි ප්‍රනාන්දුට චූටි මැණිකේ වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද කියලා මුලින්ම කිව්වොත්? 
2017 දෙරණ අවුරුදු කුමරිය විදිහට අභිෂේක ලැබිමම තමයි මට චූටි මැණිකේ වෙන්න අවස්ථාව ලබා දුන්නේ. එහෙම නොවුණා නම් මගේ ගමන මීට වඩා වෙනස් වෙන්නත් ඉඩ තිබුණා. කවදාවත් ප්‍රසිද්ධියේ රඟපාලා මම හා පුරා කියලා නොතිබුණු රඟපෑවේත් ඔය කියන දෙවැනි ඉනිමේ චූටි මැණිකේ කියන චරිතයම තමයි.

කොහොමද මේ දවස්වල චූටි මැණිකේට ලැබෙන ප්‍රතිචාර? 
මගේ රඟපෑමට මේ තරම් හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නැහැ. පුංචි චරිතයක් රඟපෑවත් මගේ චරිතේ ගැන ගොඩක් දෙනා කතා කරනවා. මට සුබ පතනවා. ඒ වගේම චූටි මැණිකේගේ අහිංසක කමටත් ගොඩක් දෙනා ආදරේ කරනවා. හිතාගන්න බැරි සතුටක් තමයි මේ හැම දෙයක් නිසාම මට දැනෙන්නේ.

අවුරුදු කුමාරි තරගෙට ආපු ශලිනිට නිළියක් වෙන්න ලැබිලා මුලින්ම කැමරාව ඉස්සරහට ගියාම මොකද හිතුණේ? 
මම රංගනය ගැන කිසිම හැදෑරීමක් කරලා තිබුණේ නැහැ. ඒ නිසා පළමු දවසේ කැමරාව ඉස්සරහට යනකොට ලොකු බයක් දැනුනා. මගේ බය දැකපු දෙවැනි ඉනිමේ සියලු දෙනාම මාව දිරිමත් කළා. නළු නිළියන් වගේම නිෂ්පාදන කණ්ඩායමෙනුත් විශාල සහයක් ලැබුණා. ඒ නිසා තමයි අද මම මේ විදියට හැමෝම කතා කරන රංගන ශිල්පිණියක් වුණේ.

චූටි මැණිකේ කියන චරිතය ශමල්කාවයි, දෙව්මිවයි, පසුකර ඉදිරියට යාවිද කියලා අන්තර්ජාලයේ හුවමාරු වෙන සටහන ගැන ඔබ මොකද කියන්නේ? 
ඒක තීරණය කරන්න ඕනේ මගේ ආදරණීය ප්‍රේක්ෂකයෝ. ලැබෙන ප්‍රතිචාර අනුව නම් චූටි මැණිකේ කියන චරිතය ටිකෙන් ටික මිනිස්සු අතරට ගිහින් කියලා හිතෙනවා.

ඔබ පෞද්ගලිකව දෙවෙනි ඉනිමේ වැඩිපුරම කැමති චරිත මොනවාද කියලා ඇහුවොත්?
පිරිමි ළමයින්ගෙන් මම වැඩිපුරම කැමති අනුහස්ටයි. ඒ වගේම චබිටයි. එතකොට ගැහැනු ළමයින්ගෙන් ශමල්කාටයි දෙව්මිටයි මං හරිම කැමතියි.

ශලිනිගේ අනාගත බලා‍පොරොත්තුවත් රංගන ශිල්පිණියක් විදියට දිගටම රැඳී සිටීමද?
ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වීම තමයි ලොකුම බලා‍පොරොත්තුව. මම ඒ පැත්තෙන් තමයි මගේ අධ්‍යාපන කටයුතු වුණත් කරගෙන යන්නේ. ඒත් ඒ හැම දෙයක්ම අතහැරලා ශලිනි ඉදිරියේදි වෘත්තීය රංගන ශිල්පිනියක් වෙන්නත් පුළුවන්. හැබැයි තවම ඒක තීරණය කරන්න කල් මදි.

පෞද්ගලික ජීවිතයේත් ඔබ චූටි මැණිකේ තරම් අහිංසකද? 
චූටි මැණිකේ නම් හරි නිහඬ චරිතයක්. ඒත් ශලිනි නම් ඒ තරම් නිහඬත් නැහැ. ඒ තරම් අහිංසකත් නැහැ (හිනා)

ඔබේ පෞද්ගලික ජීවිතය ගැන කතා කළොත්?
මගේ ශක්තිය මගේ අම්මයි, අයියයි. මම කොහේ ගියත් අම්මා මගේ පිටිපස්සෙන් ඉන්නවා. තාත්තා ජීවතුන් අතර නැති වුණත් තාත්තාගේ ආශීර්වාදය මට හැමදාකම ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. මට තවම වයස 19යි. අපි දැනට පදිංචි වෙලා ඉන්නේ මීගමුවේ.












Comments